ආධ්‍යාත්මික අවධිය: බුද්ධීමය දැනුම හා අත්දැකීම අතර වෙනස
සාරාංශය: මෙම බ්ලොග් අඩවියේ මෙතෙක් ලියා ඇති සියල්ල බුද්ධිමය වශයෙන් තේරුම් ගැනීම එතරම් අපහසු දෙයක් නෙවයි. අපගේ මිනිස් මනසට සංකල්ප, දර්ශන සහ මති මතාන්තර මෙනෙහි කිරීම, තේරුම් ගැනීම, ඒ පිලිබඳව තර්ක කිරීම, සහ නැවත අර්ථ දැක්වීම සියල්ල හොඳින් සිදු කල හැක. එය අප මිනිස් මනස සතු විශේෂිත අංගයකි. ඕනෑම මතයක්, ඕනෑම සංකල්පයක් "මනස" ට එකවර සත්‍ය සහ ඒත්තු ගැන්වෙන ලෙස ඉදිරිපත් කල හැක. පූර්ණ සත්‍යාවබෝධය ලැබූවෝ එම නිසා මානසික සංකල්ප වලින් නිදහස්ය. එමෙන්ම, සියලු මානසික සංකල්ප ඔහුට භාරගත හැක. එයට හේතුව, සියලු සංකල්පයන් මනසේ සාපේක්ෂතාවයෙන් පැන නැගි නිසාවෙනි. නිදසුනක් වශයෙන්, අපගේ විඥානයේ සීමාව තුළ, කිසිදු භාවනා අත්දැකීමක් නොමැතිව වුවද ද්විත්වභාවය සහ ද්විත්ව නොවන බව තේරුම් ගැනීම එතරම් අපහසු නැත. නමුත් එය මනසට සීමා වූ, මානසික වපසරිය තුල පමණක් කතා වෙන අවබෝධයකි. එයද සත්‍යය ? ඇයි භාවනාව හෝ ආධ්‍යාත්මික පුහුණුවක් අවශ්‍යය ?
මෙය ඉංග්‍රීසියෙන් පල වූ පහල ලිපියේ සිංහල අනුවාදනයයි.....
රූපය 1: විශ්වයේ ද්වීතීය ස්වභාවය බුදු දහම හා ඒබ්‍රහමික් දර්ශණ අනුසාරයෙන් නිරූපණය
මනසේ ද්විතීය ස්වභාවය තේරුම් කිරීම සඳහා, අපි මෙය සෙන් ගුරුවරයෙක් හා සිසුවෙක් අතර දෙබසක් ලෙස මෙලෙස ගෙනහැර දක්වමු :-
ගෝලයා: ගුරුතුමනි, ද්විත්ව භාවය සහ ද්විත්ව භාවය පිළිබඳ සංකල්පය මට තේරෙනවා. එය තේරුම් ගැනීම එතරම් අපහසු නැහැ. එතකොට මෙතැනින් එහාට මුකුත් නැතිද ?
ගුරුතුමා: කරුණාකර මට උදාහරණයක් දෙන්න පුළුවන්ද?
ගෝලයා: මූලික වශයෙන් පිරිමි-ගැහැණු, උණුසුම්-සීතල, ආත්මීය-අනාත්මීය, පෞද්ගලිකත්වය-පුද්ගල නොවන බව, වෙන්වීම-සමස්තය, හිස්බව-සම්පූර්ණත්වය හරි-වැරදි, සුදු-කලු, උස-මිටි යන ඒවා මනසේ ද්විතීය ස්වභාවයන්ට උදාහරණයි. එනම් ප්‍රතිවිරුද්ධ ධ්‍රැවීයතා අතර වෙනසයි.
ගුරුතුමා: ම්ම්… ඔව් ඒවා බොහෝමයක් සියල්ල එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධ්‍රැවීයතා වල යුගලයන් ය! නමුත් හිස් බව හා පූර්ණත්වය එසේද? ඒවා එකිනෙකට ප්‍රති විරුද්ධ ධ්රැවීයතාද? ඒ ගැන ඔබේ භාවනා අත්දැකීම් අනුසාරයෙන් විග්‍රහයක් කරන්න බලන්න.
ගෝලයා: එසේ නොවේද? :O යමක් හිස් නම් එය කිසි සේත්ම සම්පූර්ණ විය නොහැක නේද ? ඒ දෙක එකම කුලකයට අයත් නොවෙයි !
ගුරුතුමා: එහෙනම් ඔබ තව දුරටත්, මනස ගැන ගැඹුරින් හැදෑරිය යුතුයි. මනස ඉක්මවා ගිය භාවනා අත්දැකීම වලට ඔබ මුහුණ දිය යුතුයි. ඔබේ මනස මට්ටමින් මෙනෙහි කිරීම පමණක් නොව, ඉන් ඔබ්බට යාමද වැදගත් වේ. මනසේ ප්‍රභාෂ්වර මට්ටම් වලටද ඔබ පැමිණිය යුතුයි.
ගෝලයා: නමුත් මෙහි ඇති ගැඹුරු දෙය කුමක්ද ගුරුතුමනි? මගේ ප්‍රගතිය හිස්බව-සම්පූර්ණත්වය පිළිබඳ අවබෝධයට අදාළ වන්නේ කෙසේද? මගේ භාවනා අත්දැකීම මේ යුගලයට සම්බන්ධ වන්නේ කෙසේද?
ගුරුතුමා: බලන්න, දැන් ඔබ ඔබේම මනස සමඟ මේ සියලු ප්‍රතිවිරුද්ධ ධ්‍රැවීයතා තේරුම් ගන්නවා. මනසේ මට්ටමෙන්, ඔබ ද්විත්ව ස්වභාවය හොඳින් දන්නවා. ඔබට හොඳට එය තේරුම් ගන්න පුලුවන්. සමහර අයට මෙය පවා තේරුම් ගත නොහැක. කෙසේ වෙතත්, ඔබ තවමත් "මනසෙහි" හා "මනස නොමැති" අත්දැකීම් දෙක ලබා ගෙන නොමැත. මෙය සිදුවිය හැක්කේ භාවනාවෙන් පමණි. ඔබට මනසේ නියමාකාර ප්‍රතිවිරුද්ධ ධ්රැව හඳුනා ගැනීමට ලැබෙන්නේ එතැනිනි. කලින් එය මනස තුළ විය. දැන්, එය මනසට සමාන්තරව හඳුනාගත හැක. එවිට පමණක් මෙම ප්‍රශ්නයට පිළිතුරු දිය හැක.
ගෝලයා: මෙය මට නොවැටහෙයි. මෙය හරියට සෙන් කෝවානයක් වගේද? අපි මේ ප්රශ්නය ගැන හිතන්නෙත් මනසෙන්. උත්තර දෙන්නෙත් උඩු මනසෙන්. ඉතින් මොකටද මේ ගැන අවබෝධ කරගන්න භාවනා අත්දැකීම්? සමහර විට මේ ප්‍රශ්න ගැන හොඳටම දන්න කෙනෙක්ට මේකට භාවනා නොකරත් උත්තර දිය හැකියි.
ගුරුතුමා: මනසින් ඔබ්බට ඔබට හමු වන ඕනෑම භාවනා අවශෝෂණයක් (කෙන්ශෝ, සතොරි, ප්‍රභාෂ්වර හෝ මහා මුද්‍රා සමාධියක්) ඔබට එහි පෙර අවධියේ ද්විත්ව නොවන ස්වභාවයක් අත්විඳීමට ඉඩ සලසයි. නිදසුනක් වශයෙන්, මනස මට්ටමේ ද්විත්ව නොවන ස්වභාවය පළමුව අත්විඳිනු ලබන්නේ පළමු පැහැදිලි "නොමනස්" ආලෝක සමාධියේදීය. එවිට ඔබට මනසින් සාදන ලද සංකල්පවල ද්විත්ව ස්වභාවය පමණක් නොව, මනස, නොමනස අතර ද්විත්ව ස්වභාවයද පෙනෙනු ඇත.
රූපය 2: මනස මට්ටමෙන් ඔබ්බට "ද්විත්ව නොවන" බව තේරුම් ගැනීම
ගෝලයා: ඒ කියන්නෙ, මේ නොමනස අත්දැකීම ලැබුනට පස්සෙ අපිට අපේ සාමාන්‍ය විඥ්ඥානය වෙනස් විදිහකට පේනවද? අපේ විඥ්ඥානයේ මොකක් හරි වෙනසක් වෙනවද, අමුතු විදිහකට තේරුම් යන්න?
ගුරුතුමා: ඔව් අන්න හරි. අපේ විඥ්ඥානයේ යම් මාරුවක් (shift) සිද්ධ වෙනව. මේ වගේ නොමනස් අත්දැකීම් රාශියක් හරහා යනකොට, ඒ යන යන මට්ටම් වලදී ද්විත්වයේ ස්වභාවය එන්න එන්න කැඩෙනව. එන්න එන්න එකීය භාවයකට පැමිණෙනව.
වඩාත් ආගමික අර්ථයෙන් ගත් කල, මෙය දෙවියන් සහ මිනිසා අතර ද්විත්ව භාවය ලෙස හැඳින්විය හැකිය. පළමු පැහැදිලි නොමනස් සමාධිය ඔබේ ගොරෝසු මනසෙහි ප්‍රතිවිරුද්ධ ධ්‍රැවය ලෙස අත්විඳියද, මෙම තත්වයට තවමත් අපිරිසිදුකමක් (impurity) තිබේ. එයින් අදහස් වන්නේ, ඔබට සමාධි අවශෝෂණයන්හි තවත් ගැඹුරට යා හැකි බවයි. ඔබ ගැඹුරට යන තරමට, ඔබේ පැවැත්ම ද්විත්ව නොවන බවට පත්වේ. එවිට මෙම අත්දැකීම එදිනෙදා ජීවිතයේදී ඔබේ සාමාන්‍ය මනසට නැවත පිළිබිඹු වේ. තේරවාදී දර්ශණය තුල මෙය අනිදස්සන/අපටිච්චිත විඥ්ඥානය ලෙස නම් කරයි.
ගෝලයා: තවමත් කාරණය කුමක්ද ගුරුතුමනි? අපි මනසක් නැති තත්වයක කිසිවක් මෙනෙහි නොකරමු. මෙනෙහි කිරීමට, වෙන්කර හඳුනා ගැනීමට, අපි සැමවිටම මනසට පැමිණෙමු. අපි අපේ වැඩි කාලයක් ගත කරන්නේ මනසෙයි. භාවනාව කුමටද ඉතින්?
ගුරුතුමා: භාවනාවේදී ඔබ අත්විඳින සියලුම ද්විත්ව නොවන දේවල් එවිට ඔබේ සාමාන්‍ය විඥානයට මාරුවක් ගෙන එයි. භාවනා නොකරන, එනම් ගතික මනසට ! යම් අවස්ථාවක දී, ගතික මනස සැමවිටම බාධාවකින් තොරව සමාධිය (බෞද්ධ-සම්භෝගකාය හෝ ශුද්ධාත්මය) සමඟ එක් වේ. එම මනස හසුරුවන්නේ අපගේ සීමිත ආත්මයෙන් නොව ඉහළ ප්‍රභවයෙන් ය. විශ්වයේ ඉහලම ශක්තියෙන්ය.
ගෝලයා: මෙය දේවල් තවත් සංකීර්ණ කරන, පරස්පර විරෝධී දෙයක් ලෙස පෙනේ. කුමටද මා එසේ කල යුත්තේ?
ගුරුතුමා: ඔබ කැමති ඕනෑම දෙයක් කරන්න. නමුත් ඔබේ මනසම දන්නවා, එය දන්නා දේ ඉක්මවා නොයා, මේ පොළොවේ එහි මෙහෙවර සම්පූර්ණ නොවන බව. මිනිස් මනස උපත ලැබුවේ සත්‍යය දැන ගැනීමටයි. එය සියලුම මනුෂ්‍ය වර්ගයාට අදාළ වේ. නමුත් එක් එක් අය, එය විවිධ වේගයන්ගෙන් දැන ගනී. ඔබ දැන් එය ප්‍රතික්ෂේප කළත්, ඔබේ මනස මෙය ගැඹුරු තත්වයකින් දනී. ඔබේ මනසෙහි ගැඹුරු ස්ථර මෙම සත්‍යය දනී.
ගෝලයා: මෝහාධික පුද්ගලයෙකු සත්‍යයට ගෙන යා හැක්කේ කෙසේද?
ගුරුතුමා: ආන්තික (අන්තයන්) තත්වයන්. ඔබට මේ ලෝකයේ දුප්පත්ම පුද්ගලයා හෝ ධනවත්ම පුද්ගලයා විය හැකිය, නරකම දුක් වේදනා හරහා හෝ පෘථිවියේ විශාලතම ධනය උරුම වන්නා විය හැක. නමුත් ඔබේ හෘදය සාක්ෂිය යමක් අතුරුදහන් වී ඇති බව දනී. නරකම දුක් වේදනා සහ ශ්‍රේෂ්ඨතම ධනය යන දෙකම ඔබව සත්‍යයට ගෙන යා හැකි දේය. මේ අන්තයන් දෙකම කෙනෙක් ව සත්‍යයට ලන් කරයි.
ගෝලයා: නරකම දුක් වේදනා සහ අධි පොහොසත් කම ඇයි? එය අතර දෙයක් විය නොහැකිද?
ගුරුවරයා: ඒ අතර ඇති ඕනෑම දෙයක්, මැද ඇති ඕනෑම දෙයක් ඔබව "උඩු යටිකුරු" කළ නොහැක. එබැවින් ඔබ සියල්ල ඔබේ උපරිමයෙන් කිරීමට වග බලා ගන්න. ඔබ ඔබේ උපරිමයෙන් කරන ඕනෑම දෙයක් ඔබව නිදහස් කරනු ඇත. එවිට ඔබේ මනස දැන් කරන දේ පිළිබඳ සම්පූර්ණ අත්දැකීම ලබා ගනී. නමුත් එය නිරපේක්ෂ සත්‍යය අත්විඳින තෙක් ඔබ තෘප්තිමත් නොවනු ඇත. එය නිසැකවම ඔබේ මනස හා ශරීරය අභිබවා ගිය තත්වයකි! ඔබ මෙම ලෝකෝත්තර තත්වයන් නොදැන මිය ගියහොත්, එය කුරුල්ලෙකු තම පියාපත් පවා උත්සාහ නොකර මිය යනවාක් මෙනි.
ගෝලයා: හරි, මම ඔබෙන් මෙහෙම අහන්නම්. හිස්බව සහ පූර්ණත්වය අතර ඇති වෙනස කුමක්ද?
ගුරුවරයා: ලෝකෝත්තර ප්‍රඥාව ක් හෝ අතික්රමණීය ඥාණයක් ඇතිව පමණක්, එක් දෙයක හිස්බව සෑම දෙයකම හිස්බව බව කෙනෙකුට පෙනෙන්නට ගනී. බඳුනක් හිස් නොවේ නම්, එය සම්පූර්ණ කල නොහැක. ඔබ හිස් නොවේ නම්, මට මගේ සම්පූර්ණත්වය ඔබට වත් කළ නොහැක. එදා මෙදාතුර පහළ වුන පෙරදිග, අපරදිග දෙඅංශයේම සියලුම ගුරුවරු කිසිදු සහචරයෙකු නොමැතිව "නොදන්නා" දේ දැන ගැනීමට තනිවම යාච්ඤා කිරීමට හෝ භාවනා කිරීමට ඔබෙන් ඉල්ලා සිටින්නේ එබැවිනි. ඔබව සම්පූර්ණයෙන්ම අත්හැරීම හෝ හිස් කිරීම මෙහිදී අදහසයි!
විශ්වයේ මෙම පවතින හිස්බව නිසාමයි, සමූහයක මැවීමට හේතු කාරණා ඇති වූයේ. ධර්මකාය හෙවත් "නොදන්නා" හිස්බව නිසා පමණක්, පැවැත්මේ බොහෝ යථාර්ථයන් පහළ විය. මතු විය! එසේ නොමැතිනම් මේ ලෝකය සැබවින්ම අඳුරු වන්නට ඉඩ තිබුණි. විශ්වය ස්වභාවයෙන්ම හිස්ය. එයට ආවේණිකව තමන්ගේම ස්වභාවයක් (inherent self) නොමැති නිසා, බහු ප්‍රතිඵල, බහු රූප හා වස්තූන් ඇති කළ හැකිය. විශ්වයේ මේ නිර්මාණශීලී බව නිසාමයි, එයට "නිමැවුම" (creation) යන නම යෙදී ඇත්තේ!
ගෝලයා: සමාවෙන්න ගුරුතුමනි, මට මෙය ධාරණය කල නොහැක. ඔබව විශ්වාස කළ නොහැක. මට සරල මිනිසෙකු වීමටයි අවශ්‍ය. මෙම ගැඹුරු කාරණා මට අවශ්‍ය නැත!
ගුරුවරයා: මම කියන්නේ එකම දෙයයි. සරල මිනිසෙක් යනු ඔහුගේ සංකීර්ණ මනස-ශරීර සංයෝජනයෙන් ඔබ්බට ඇති දේ සොයාගත් තැනැත්තා ය. සරල මිනිසෙකු විය හැක්කේ සත්‍යාවබෝධය කල තැනැත්තෙකු පමණයි. මනසේ ඉන්නා සැවොම සංකීර්ණ අයයි. ඔබ මෙම සත්‍යය දැනගත් පසු, ජීවිතය ඉතා සරල වන අතර එය යටත් වීමෙන් මෙහෙයවනු ලැබේ!
යමෙක් මෙම සත්‍යය දුටුවොත් පමණක් ඔහු ඔහුගේ සැබෑ ස්වභාවය දැනගනී. සත්‍යය දුටු ද්විත්වීය පුද්ගලයෙකු පමණක් නියම ද්විත්වීය පුද්ගලයෙකු වන්නේය. මෙම සත්‍යය දැන ගැනීමෙන් පමණක් අදේවවාදියෙකුට සැබෑ අදේවවාදියෙකු විය හැකිය. බෞද්ධයෙකු එම සත්‍යය දැන ගැනීමෙන් සැබෑ බෞද්ධයෙකු බවට පත්වේ. කිතුනුවකු සහ සුෆිවරයෙකු ද එසේමය. ඔබ සැබවින්ම කවුදැයි දැනගත් පසු, ඔබට ඕනෑම අයෙකු විය හැකිය. එමෙන්ම කිසිවෙකු නොවන ලෙසටද ඔබට ජීවත් විය හැක!
ගෝලයා: ආදම් සහ ඒව කවුද?
ගුරුවරයා: මට නම්, ඒවා මූලික ශක්තියෙන් පසුව පහළ වෙන පළමු ද්විත්ව ශක්ති වියෝජන දෙකයි. අවසාන බුද්ධත්වයේ දී එක්මුසු වන මහා ස්ත්‍රී හා පුරුෂ ශක්තීන් දෙවර්ගයයි. මගේ අදහස අනුව ඒ සාමාන්‍ය මිනිස් හා කාන්තා යුගලයක් නොවෙයි. ඔවුන් නිරූපණය කරන්නේ විශ්වෙයේ පවතින කාන්තාමය (feminine) හා පුරුෂ (masculine) ස්වභාවයයි.
ගෝලයා: ඔවුන් පුරුෂ හා ස්ත්‍රී වන්නේ ඇයි?
ගුරුවරයා: මූලික ශක්තිය උදාසීනයි. එයට එය ගැන හෝ ද්විත්වීය හැඟීමක් නැත. ඉතින් එම "පිරිසිදු ද්විත්ව නොවන" ස්වභාවය තුළ නිද්‍රාශීලී වීමෙන් පමණක් එහි තත්වය, එහි විභවය එම ශක්තියට දැනගත නොහැක! අලුත උපන් බිළිඳෙකු ආරම්භයේ දී බඩගා යාම ගැන කිසිවක් නොදන්නා නමුත් පසුව එය ටිකක් එහා මෙහා ගොස් එයට ශරීරයක්, මාංශ පේශි ඇති බව ඉගෙන ගෙන සෙමින් බඩගා යාමට ඉගෙන ගනී. ඒ හා සමානව, මූලික ශක්තියටද එය කුමක්දැයි දැන ගැනීමට අවශ්‍ය වේ. එවිට මෙම දැනුවත්භාවය (energy-awareness) එම තත්වයේ ශක්ති අසමතුලිතතාවයක් ඇති කරයි. පසුව ආදම් සහ ඒව නමින් ශක්තීන් දෙකකට මෙම අසමතුලිත තාවයෙන් මූලික ශක්තිය බැස ගනී. එසේ නොමැතිනම් නිද්‍රාශීලී මූලික ශක්තිය එහි ආරම්භක තත්වයෙන් යමක් නිර්මාණය කරන්නේ කෙසේද? එය එය ගැන දැනගත් යුතුය. ශක්තීන්ට ද ඇත්තේ මේ ද්විත්වීය හා එකීය ස්වභාවයන්ට සමාන වන ස්වරූපයකි.
විශ්වයේ මූලාරම්භය ගැන අපූරු, වෙනස්ම අදහසක් හා මතයක් දැනගැනීමට පහළ වීඩියෝව නරඹන්න:
කරුණාකර ඔබේ අදහස් පහල කොමෙන්ටු ලෙස පල කරන්න.....

.png)
Beautiful explanation
ReplyDelete